ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් LGBTQ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කර තිබූ අනුමැතිය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් ලබාදී තිබූ මෙම අනුමැතිය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද රීට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අනුමැතිය නිකුත් කිරීමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා සැලකිල්ලට ගනිමින් අදාළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව මෙහිදී වැඩිදුරටත් සඳහන් විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, අදාළ පෙත්සම යළි මාර්තු මස 04 වනදා කැඳවීමට නියෝග කර තිබේ. මෙම ව්‍යාපෘතිය හරහා සංචාරක ක්ෂේත්‍රය තුළ යම් ප්‍රවර්ධනයක් අපේක්ෂා කළද, ඊට එල්ල වූ නීතිමය හා සමාජයීය විරෝධතා මධ්‍යයේ රජය මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.














