වතුයායේ තවත් මදු රැසක් පොලිස් භාරයට – සැකකරුවන් සෙවීමට විමර්ශන
බගවන්තලාව, කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තක අටවා තිබූ කම්බි මන්දකට හසුවීමෙන් මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (10) පෙරවරුවේ සොයාගෙන තිබේ. නල්ලතන්නි වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ සත්වයා මන්දෙන් මිදීමට දැරූ උත්සාහයේදී ගෙල ප්‍රදේශය තද වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්‍රදේශයේ පවතින සත්ව ගැටුම් හේතුවෙන් කිසියම් පුද්ගලයකු මෙම මන්ද අටවන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරයි. බගවන්තලාව පොලිසිය විසින් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී තේ වත්තේ අටවා තිබූ තවත් කම්බි මදු රැසක් සොයාගෙන ඒවා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලය වෙත යොමු කිරීමට නියමිත අතර, මදු ඇටවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය සහ වනජීවී නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.














