නිල රහස් පනත උල්ලංඝනය කරමින් එප්ස්ටයින්ට තොරතුරු දුන් බවට පැමිණිල්ලක්
බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරු, ලිංගික අපරාධකරුවෙකු ලෙස සැලකෙන දිවංගත ජෙෆ්රි එප්ස්ටයින් වෙත රහස්‍ය තොරතුරු ලබා දුන් බවට එල්ල වී ඇති නවතම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තෙවැනි චාල්ස් රජු සිය සහාය පළ කර තිබේ.
ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් මෑතකදී ප්‍රසිද්ධ කළ ‘එප්ස්ටයින් ලිපිගොනු’ හරහා අනාවරණය වී ඇත්තේ 2010 වසරේදී ඇන්ඩෘ කුමරු විසින් එප්ස්ටයින් වෙත කිසියම් රහස්‍ය කරුණු කිහිපයක් යවා ඇති බවයි.
රාජ්‍ය නිලයක් දරමින් සිටියදී අයථා හැසිරීම් සහ ‘නිල රහස් පනත’ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ‘Republic’ සංවිධානය විසින් ඇන්ඩෘ කුමරුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තේම්ස් නිම්න පොලිසිය (Thames Valley Police) විසින් මෙම පැමිණිල්ල භාරගෙන ඇති අතර එහි අන්තර්ගත තොරතුරු මේ වන විට විශ්ලේෂණය කරමින් සිටී.
මෙම පරීක්ෂණ සඳහා රජ මාලිගාවේ පූර්ණ සහයෝගය ලබාදීමට චාල්ස් රජු තීරණය කර ඇති බව වාර්තා වේ.














