යාපනය, කයිට්ස් පොලිස් වසමේ අලප්පිඩ්ඩි මංසන්ධිය අසලදී පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (10) අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, සැකකටයුතු වෑන් රථයක් නතර කරන ලෙස කළ නියෝගය නොසලකා මණ්ඩතිව් දෙසට වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය මෙලෙස වෙඩි තබා ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි, පලාගිය රථය ලුහුබැඳ ගිය කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මුලින් අහසට වෙඩි තබා ඇති අතර, රථය නතර නොකිරීම නිසා රථය දෙසට වෙඩි තබා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වඩ්ඩුකොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා වන අතර, ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුරට පත් වෑන් රථයේ පසුපස අංක තහඩුව ඉවත් කර තිබූ බවත්, එහි සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.














