මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින රිය අනතුරු නඩුව, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය. මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රවී සෙනවිරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
2023 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවතින මෙම නඩුව හරහා අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාධාරණ නඩු විභාගයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙත්සම්කරු අධිකරණයට දන්වා සිටියේය. නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයෙන් විරෝධයක් එල්ල නොවූ බැවින්, නඩු විභාගයේ විනිවිදභාවය තහවුරු කරනු පිණිස අභියාචනාධිකරණය මෙම තීරණයට එළඹුණි.














