“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් (Low floor) බස් රථ 10ක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මෙම බස් රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, ලබන මාර්තු 15 වනදා වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම නවීන බස් රථ ධාවනය කිරීමට සහ නඩත්තු කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සතුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළේය. මේ හේතුවෙන්, අදාළ බස් රථ මෙහෙයුම් කටයුතු ලංකා මෙට්‍රො ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොළඹ නාගරික ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස හඳුන්වා දී ඇත.














