ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ එමගින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ‘ජාතික ඛනිජ ප්‍රතිපත්තිය – 2026′ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 1999 වර්ෂයේදී ප්‍රථම වරට සකස් කරන ලද මෙම ප්‍රතිපත්තිය, ඛනිජ සම්පත් දත්ත පද්ධතියක් සකස් කිරීම, අපනයනය සඳහා අගය එකතු කිරීම සහ කර්මාන්තකරුවන් දිරිගැන්වීම වැනි කරුණු ඇතුළත් කරමින් 2023 වසරේදී සංශෝධනය කරනු ලැබීය.
වර්තමාන රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘තිරසර සම්පත් භාවිතාවක් – උපරිම ප්‍රතිලාභ ජනනයක්’ යන තේමාවට අනුගත වන පරිදි මෙම ප්‍රතිපත්තිය නැවත යාවත්කාලීන කර ඇත. ඛනිජ සම්පත් නිස්සාරණය කිරීමේදී පැන නගින ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම සහ පරිසරය සුරැකීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා මෙරට ඛනිජ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් අපේක්ෂා කෙරේ.














