ආණ්ඩුව මහා සංඝරත්නය මර්දනය කරමින් සහ රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවේ අවශ්‍යතා මත කටයුතු කරන්නේ නම්, මැතිවරණයකදී ජනතාව ඔවුන් සිටින තැන පෙන්වා දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. “ආණ්ඩුවට කයිවාරු ගහන්න දෙයක් නැහැ, අපිට බැන බැන ඉන්නේ නැතුව හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්න” යැයි ඔහු අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අභියෝග කළේය.
යහපාලන සමයේ රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සඳහා මුදල් ලබාදුන් බවට හිටපු අමාත්‍යවරයෙකු කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී සිහිපත් කළ මන්ත්‍රීවරයා, ලිපිගොනු අස්ථානගත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව නහයෙන් ඇඬීම නතර කළ යුතු බවත්, ජනාධිපතිවරයා පැවසූ පරිදිම “කෙඳිරිගාන්නේ නැතිව” කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය. එසේම, ‘ලෝටස් මූමන්ට්’ (Lotus Movement) තරුණ සංවිධානය හරහා තරුණ පිරිස් ඒකරාශී කරමින් සිය දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














