සංචාරක පැමිණීම ඉහළ යන පසුබිමක ගුවන් තොටුපළ දැඩි අවධානයෙන්!
ලොව පුරා රටවල් කිහිපයක සහ අසල්වැසි ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික “නිපා” (Nipah) වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම සූදානමකින් පසුවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම එළැඹෙන ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් තරගය නැරඹීමට විශාල සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බැවින් ගුවන් තොටුපළ ආශ්‍රිතව විශේෂ පරීක්ෂණ ක්‍රියාවලියක් දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනවාරි මාසයේදී පමණක් සංචාරකයින් 277,000ක් මෙරටට පැමිණ ඇති අතර, එය ඉතිහාසයේ ජනවාරි මාසයක පැමිණි වැඩිම පිරිසයි.
නිපා වෛරසය කොවිඩ් වසංගතයට වඩා මාරාන්තික ස්වභාවයක් ගන්නා බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවෙයි.
වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන මෙම වෛරසය, ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ අපිරිසිදු ආහාර මගින් පැතිර යා හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසංගත තත්ත්වයක් ඇති කළ හැකි “ප්‍රමුඛතා රෝග 10″ අතරට නිපා වෛරසය ද ඇතුළත් කර ඇති බැවින්, මහජනතාව මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.













