ට්‍රැක්ටර් ආධාරයෙන් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් වෙළෙඳපොළට මාළු ලැබීම සීමා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාළු මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. අද (10) වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙලවල්ලා කිලෝවක් රුපියල් 2,700ක් සහ තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වේ.
හයවන දිනටත් ක්‍රියාත්මක මෙම සත්‍යග්‍රහය හේතුවෙන් සාලයා සහ ලින්නා වැනි සාමාන්‍ය පරිභෝජනයට ගන්නා මත්ස්‍ය වර්ගවල මිලද පිළිවෙළින් රුපියල් 700 සහ 900 දක්වා ඉහළ ගොස් ඇත. වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වෙන අතර, ඉදිරි දිනවලදී ද මෙය දිගටම ක්‍රියාත්මක වුවහොත් මාළු මිල තවත් ඉහළ යා හැකි බවට වෙළෙඳුන් අනතුරු අඟවයි.














