හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් වත්මන් රජයේ පාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. “යුක්තිය තෝරා බේරාගෙන ක්‍රියාත්මක වන විට” (When Justice becomes Selective) යන මැයෙන් පළ වූ ලිපියක් උපුටා දක්වමින් ඇය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ රාජ්‍ය සේවය විනාශ කර ඒ වෙනුවට දේශපාලන හිතවතුන් පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉතා අවංක සහ වෘත්තීය මට්ටමේ නිලධාරියෙකු බව සඳහන් කරන ඇය, පවතින රාජ්‍ය සේවය විසුරුවා හැර සුදුසුකම් නොමැති පක්ෂ සාමාජිකයන් පත් කිරීම හරහා රටේ පාලනය අරාජික විය හැකි බවට අනතුරු අඟවයි. වසර විස්සක අයහපත් පාලනයෙන් බැටකෑ ජනතාව “අරගලය” හරහා දේශපාලනිකව දැනුවත් වී ඇති බැවින්, පවතින ගමන් මග වෙනස් කරමින් රට ප්‍රජාතන්ත්‍රවාදීව යළි ගොඩනැගීමට ජනතාව එක්විය යුතු බව ඇය සිය සටහන මගින් අවධාරණය කර ඇත.














