කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී, මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණ රැසකට එළඹ තිබේ.
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සහ කොමසාරිස්වරියකගේ පුරප්පාඩුව කඩිනමින් පිරවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට ද තීරණය කෙරිණි.
මෙවර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමටත්, බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිනියන් බල ගැන්වීමට පළාත් පාලන මන්ත්‍රීවරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
කාන්තා හිංසනය පිටුදැකීම සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සංවිධාන සමඟ සාකච්ඡා කිරීමටත්, ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව පීඩාවට පත්ව සිටින කාන්තාවන්ගේ ගැටලු දෙස මානුෂීයව බැලීමටත් සංසදය එකඟතාවයට පැමිණ තිබේ.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම කටයුතු වඩාත් විධිමත් කිරීමට සංසදය සිය 2026 ක්‍රියාකාරී සැලැස්මට මෙම කරුණු ඇතුළත් කර ඇත.














