රෝගීන්ට සහ සිසුන්ට සහන රැසක් සැත්කම් පෝලිම් අවම කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක්!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් මහජනතාවට සහ සිසුන්ට සෘජුවම බලපාන තීරණ රැසක් ගෙන තිබේ. මෙහිදී මූලිකවම වෛද්‍යාධාර පටිපාටිය සරල කිරීමටත්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව දීමනා ඉහළ නැංවීමටත් පියවර ගෙන ඇත.
දැනට ලබා දෙන වෛද්‍යාධාර මුදල වැඩි කිරීමටත්, ආධාර ලබා ගැනීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කිරීමටත් තීරණය විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට, වෛද්‍ය නිර්දේශ මත මෙම ආධාර ලබා ගත හැකිය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා රුපියල් ලක්ෂයක (රු. 100,000) එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට අනුමැතිය හිමිවිය.
සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබන සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.
රජයේ රෝහල්වල පවතින හෘද සැත්කම් සහ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කෙරේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන් 54,000කට රුපියල් 10,000 බැගින් සහන ලබා දීම දැනටමත් ආරම්භ කර ඇත.
අරමුදල මගින් ආධාර ලබන්නන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමටත්, මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමටත් උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් ඇතුළු පාලක මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියහ.














