ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් අද (10) නිකුත් කරන ලද 2025 ලෝක දූෂණ සංජානන දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව දූෂණය අවම රටවල් අතර ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට පැමිණ ඇත.
2024 වසරේදී 121 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, 2025 වසරේදී ස්ථාන 14ක් ඉදිරියට පැමිණ 107 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
2024 වසරේදී ලකුණු 32ක්ව පැවති ශ්‍රී ලංකාවේ දර්ශක අගය, 2025 වන විට ලකුණු 35 දක්වා වර්ධනය වී ඇත.
දූෂණ දර්ශකයේ 0 යනු “අතිශය දූෂිත” වන අතර 100 යනු “ඉතා පිරිසිදු” මට්ටමයි. ශ්‍රී ලංකාව වර්ධනයක් පෙන්වුවද, තවමත් ලෝක සාමාන්‍යය වන 43ට වඩා පහළ මට්ටමක පවතී.
ඩෙන්මාර්කය (ලකුණු 89) අඛණ්ඩව 8 වැනි වරටත් ලොව පිරිසිදුම රට බවට පත්ව ඇති අතර ෆින්ලන්තය සහ සිංගප්පූරුව ඉන් පසු ස්ථානවල පසුවේ.
රාජ්‍ය අංශයේ අල්ලස, පොදු අරමුදල් අවභාවිතය, තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දූෂණයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමේ ශක්තිමත්භාවය මත මෙම දර්ශකය සකස් කෙරේ.
පසුගිය වසර පුරා දූෂණය පිටුදැකීමට සහ විනිවිදභාවය ඇති කිරීමට ගත් පියවර කෙරෙහි ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ විශ්වාසය ගොඩනැගී ඇති බව මෙම වාර්තාව මගින් ගම්‍ය වේ.














