විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට (රු. 18,000,000) අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (10) සීදූවේදී අත්අඩංගුවට ගෙන තිබේ. වසරකට අධික කාලයක් පොලිසිය මඟහරිමින් සැඟවී සිටි මෙම ප්‍රධාන සැකකාරිය කොටු කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇත.
‘Rainbow Nexus’ නමින් බලපත්‍ර රහිත ආයතනයක් පවත්වාගෙන යමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මෙම වංචාව සිදුකර ඇත.
සැකකරුවන් රැඳී සිටි ස්ථානයේ තිබී රැකියා ලබාදෙන බවට වූ ව්‍යාජ ගිවිසුම් 200ක්, වෛද්‍ය වාර්තා (X-Ray) 300ක් පමණ සහ ප්‍රචාරක පත්‍රිකා රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මුලින් පැමිණිලි 12ක් මත විමර්ශන ඇරඹුණද, පසුව අනාවරණය වූයේ මොවුන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
විදේශ රැකියා සඳහා මුදල් ගෙවීමට පෙර අදාළ ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වලංගු ආයතනයක්දැයි පරීක්ෂා කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටියි.













