දෙමළ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ මැදිහත්වීමෙන් ලබන 19 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක රැස්වීම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතාගේ විරෝධය හේතුවෙන් අවලංගු වීමේ හෝ කල් යාමේ අවදානමකට ලක්ව තිබේ. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඊට පෙර එනම් 15 වන දින වෙනම සාකච්ඡාවක් කැඳවීම සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා ස්විස් තානාපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.
දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතිකවාදී පක්ෂ ඒකරාශී කිරීමට ස්විට්සර්ලන්තය උත්සාහ කළද, පක්ෂ අභ්‍යන්තරයේ පවතින මෙම මතභේදකාරී තත්ත්වය හමුවේ 19 වන දින රැස්වීම පැවැත්වීමට නොහැකි බවත් එය කල් දැමීමට ඉඩ ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද තහවුරු කර ඇත. මේ අතර, 15 වන දින පැවැත්වෙන සාකච්ඡාවට තමිල් අරසු පක්ෂය වෙනුවෙන් නියෝජිතයෙකු සහභාගී වන බව එහි වැඩබලන නායක සී.වී.කේ. සිවඥානම් මහතා ප්‍රකාශ කර තිබේ.














