ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව සම්බන්ධ කරමින් ඉදි කර ඇති ‘ගෝර්ඩි හෝව්’ (Gordie Howe) ජාත්‍යන්තර පාලම විවෘත කිරීම වළක්වන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. කැනඩා රජය විසින් ඇමෙරිකාවට ලැබිය යුතු නිසි ගෞරවය ලබා දෙන තෙක් සහ මෙතෙක් ඇමෙරිකාව කැනඩාවට ලබා දී ඇති සියලු දේ වෙනුවෙන් “සම්පූර්ණ වන්දි” ගෙවන තෙක් මෙම පාලම විවෘත කිරීමට ඉඩ නොදෙන බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශ කර තිබේ.
කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තය සහ ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තය යා කෙරෙන මෙම දැවැන්ත පාලම සඳහා සම්පූර්ණ පිරිවැය දරා ඇත්තේ කැනඩා රජයයි. කෙසේ වෙතත්, මෙහි අයිතියෙන් අඩක් ඇමෙරිකාව සතු විය යුතු බවත්, පාලම හරහා ලැබෙන ආදායම් (Tolls) ඇමෙරිකාවට ද හිමිවිය යුතු බවත් ට්‍රම්ප්ගේ ස්ථාවරය වී ඇත. මීට අමතරව, පාලම ඉදිකිරීමේදී ඇමෙරිකානු වානේ භාවිත නොකළ බවට ද ඔහු චෝදනා කර ඇති නමුත්, කැනඩා බලධාරීන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
මෙම තත්ත්වය හමුවේ කැනඩා අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රකාශ කළේ තමන් ට්‍රම්ප් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්, මෙම පාලම දෙරටේම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් බව ඔහුට මතක් කර දුන් බවත්ය. මිචිගන් ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකාරවරිය සහ සෙනෙට් මන්ත්‍රීවරුන් ද ට්‍රම්ප්ගේ මෙම තීරණය විවේචනය කර ඇති අතර, පාලම විවෘත කිරීම වැළැක්වීම හරහා ඇමෙරිකානු ව්‍යාපාරවලට සහ රැකියා වෙළඳපොළට දැඩි හානියක් සිදුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ මෙම දැඩි ස්ථාවරය හමුවේ දෙරට අතර පවතින වෙළඳ සබඳතා තවදුරටත් උග්‍ර අතට හැරී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














