ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නමක සහ තවත් පුද්ගලයන් හයදෙනෙකු අද (11) යළි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම පිළිබඳ තීන්දුව ද අද දිනයේ ත්‍රිකුණාමලය මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය ජනවාරි 14 වනදා සිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාරය තුළදී තමන් වහන්සේට විනයානුකූලව දානය වැළඳීමට ඇති කාලය (විකාල භෝජනයට පෙර) මඟහරවා පස්වරු කාලයේ ආහාර ලබා දීම නිසා දින කිහිපයක් නිරාහාරව සිටීමට සිදු වූ බවයි. එමෙන්ම බන්ධනාගාරය තුළ ආගමික වතාවත්වල නිරත වීමට නිලධාරීන් බාධා කරන බවට ද උන්වහන්සේගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
එම කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එස්.එම්.එස්. සම්සුදීන් මහතා, භික්ෂූන් වහන්සේලාට දානය වැළඳීම සඳහා නියමිත කාලය තුළ ආහාර ලබාදීමට කටයුතු කරන ලෙසත්, ආගම ඇදහීමේ අයිතියට බාධා නොකරන ලෙසත් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ. ජනවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදීම මොවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කෙරුණු අතර අද දිනයේ ඇප සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව පිළිබඳව ව්‍යාපාරික හා දේශපාලන ක්ෂේත්‍රවල මෙන්ම බෞද්ධ ජනතාව අතර ද දැඩි අවධානයක් යොමුව ඇත.














