මාර්ගයේ වැටී තිබූ වැල ගෙඩියක් මත යතුරුපැදියක් ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු දෙකයි මාස 11ක් වයසැති දැරියක් මහනුවර ජාතික රෝහලේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෑගල්ල අත්තනගොඩ කරඩුපන වත්තේ පදිංචිව සිටි මෙම දැරිය, සිය දෙමාපියන් සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී මෙම අනතුරට මුහුණ දී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දැරිය ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියේ ඉදිරිපස ගමන් කර ඇති අතර, යතුරුපැදිය පෙරළීමෙන් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. පවුලේ එකම දරුවා වූ දියණියගේ මරණය දරාගත නොහැකි වූ 35 හැවිරිදි පියා වස පානය කර මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. පියාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරන අතර කෑගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














