හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එම නඩුවේ විත්තිකරුවන් 42 දෙදෙනා දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත රැගෙන විත් තිබේ. 2022 මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී සිදු වූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබූ අතර, නඩුවේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසු තීන්දුව ලබා දීම අද (11) දිනට නියම විය.
ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට තිබූ මෙම තීන්දුව අධිකරණය විසින් අද දින දක්වා කල් තැබූ අතර, අදාළ විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විට අධිකරණ භූමියට ඇතුළු කර ඇත. මෙම ඓතිහාසික නඩු තීන්දුව දැනගැනීම සඳහා අධිකරණ පරිශ්‍රය අවට විශාල පිරිසක් රැස්ව සිටින අතර පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.














