ලංකා පිඟන් සංස්ථාවට අයත් මහියංගනය ප්‍රදේශයේ පිහිටි අක්කර 96ක භූමිය නවීන කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා මෙම භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්, ව්‍යාපෘතියේ මූලික කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. මීට අමතරව මදුරාවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 36ක වියදමින් ඉදි කළ නව විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.














