රැකියාවට ස්ත්‍රී/පුරුෂ භේදයක් නොමැති බව ප්‍රායෝගිකව සනාථ කරමින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සේවයට එක් වූ කාන්තා බස් කොන්දොස්තරවරියන් මේ වන විට සාර්ථකව සිය රාජකාරි ඉටු කරමින් සිටිති. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ යටතේ කොන්දොස්තරවරියන් 19 දෙනෙකු සේවයට බඳවා ගෙන ඇත. අධිවේගී මාර්ග ඇතුළුව දිවයින පුරා ප්‍රධාන මාර්ගවල සේවයට යොදවා ඇති මෙම නිලධාරිනියන්ගේ සුහදශීලී සේවාව පිළිබඳව මගීන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමි වෙමින් පවතී.














