ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි එල් පැසෝ (El Paso) ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් දින දහයක කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති විශේෂ තර්ජනයක් සැලකිල්ලට ගනිමින් පෙබරවාරි 10 වනදා රාත්‍රී 11.30 සිට පෙබරවාරි 20 වනදා දක්වා මෙම තාවකාලික ගුවන් ගමන් තහනම පනවා ඇත. මේ යටතේ වාණිජ, භාණ්ඩ ප්‍රවාහන සහ සාමාන්‍ය ගුවන් සේවා ඇතුළු සියලුම මෙහෙයුම් අත්හිටුවා ඇති අතර, එම ගුවන් අවකාශය ‘ජාතික ආරක්ෂක ගුවන් අවකාශය’ ලෙස වර්ගීකරණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම සීමාවන්ට අනුකූල නොවන ගුවන් නියමුවන් රඳවා තබා ගන්නා බවට FAA අනතුරු අඟවා ඇති අතර, ගුවන් යානයක් මගින් ආසන්න ආරක්ෂක තර්ජනයක් එල්ල වන බව තීරණය වුවහොත් ඒ සඳහා මාරාන්තික බලය යෙදවීමට ද රජයට අවසර ලබා දී ඇත. බටහිර ටෙක්සාස් සහ උතුරු මෙක්සිකෝව සඳහා ප්‍රධාන දොරටුවක් බඳු මෙම ගුවන්තොටුපළ වසා දැමීම හේතුවෙන් මගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇති අතර, තම ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අදාළ ගුවන් සමාගම් අමතන ලෙස සංචාරකයින්ට උපදෙස් දී තිබේ. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී ද වෙනිසියුලාව ආශ්‍රිතව හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනිම ගුවන් ගමන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බව වාර්තා වේ.














