ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ ද්විපාර්ශ්වික ගිවිසුම් දෙකක කෙටුම්පත් සාර්ථකව අවසන් කර ඇති බව බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. දෙරටේ අදාළ බලධාරීන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ‘ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම’ සහ ‘තායිලන්තයේ ශ්‍රී ලාංකික සේවකයින් සේවයේ යෙදවීමේ ගිවිසුම’ යන කෙටුම්පත් මෙලෙස අවසන් කර ඇති අතර, ඒවා අදාළ රජයන්හි අනුමැතියෙන් පසු 2026 වසරේ පළමු කාර්තුව තුළදී අමාත්‍ය මට්ටමින් අත්සන් කිරීමට නියමිතය.
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීම සඳහා තායි කැබිනට් මණ්ඩලය ලබා දුන් අනුමැතියට සමගාමීව මෙම ක්‍රියාවලිය ආරම්භ වී තිබේ. මෙම නව සහයෝගිතාවය යටතේ ඉදිකිරීම්, කෘෂිකාර්මික හා පශු සම්පත්, ආහාර පාන, කාර්මික, අධ්‍යාපන ආයතන, ජලජ සත්ව සැකසුම් සහ පතල් කැණීම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක පුහුණු ශ්‍රී ලාංකිකයින්ට විධිමත් රැකියා අවස්ථා හිමි වනු ඇත. විනිවිදභාවයකින් යුත් නියාමන රාමුවක් හරහා ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සුරක්ෂිත කරමින් දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් මෙම කටයුතු සිදු කිරීමට දෙරටේම රජයන් කැපවී සිටින බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලද අතර, ඊට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්. එම්. එස්. එස්. බී. යාලේගම මහතා ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද එක් වූහ. තායිලන්ත නියෝජිත පිරිස සඳහා එරට කම්කරු අමාත්‍යාංශයේ සහකාර ස්ථිර ලේකම් සක්දිනාත් සෝන්තිසක්යෝටින් (Sakdinath Sonthisakyothin) මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














