සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්ෂක ප්‍රදර්ශනය (World Defense Show) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා එක්ව තිබේ. නිල ආරාධනයකට අනුව පෙබරවාරි 8 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත ප්‍රදර්ශනය, ගෝලීය ආරක්ෂක සහ ආරක්ෂක කර්මාන්තයේ නව ප්‍රවණතා හඳුනාගැනීමේ ප්‍රමුඛතම වේදිකාවකි.
රටවල් 89ක් නියෝජනය කරමින් ආයතන 1,486කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම ප්‍රදර්ශනයේදී ගොඩබිම, ගුවන, මුහුද, අභ්‍යවකාශය සහ තොරතුරු ආරක්ෂණය යන ක්ෂේත්‍රවල නවීනතම තාක්ෂණික මෙවලම් සහ නව නිපැයුම් ප්‍රදර්ශනය කෙරේ. එහිදී මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා විවිධ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ අතර, ජාත්‍යන්තර ආරක්ෂක සමාගම් සහ රාජ්‍ය ආයතන නියෝජිතයන් සමඟ ද අදහස් හුවමාරු කර ගත්තේය.
මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා සෞදි අරාබියේ උසස් රජයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක්වීමට නියමිතය. මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කර ගැනීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා පවතින අවස්ථා හඳුනා ගැනීම බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.














