පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බාල ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ රෝගී මරණවලට අදාළ අවසාන වාර්තා වර්තමාන ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා විසින් සඟවනු ලබන බවට බරපතළ සැකයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (11) ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ මෙලෙස චෝදනා පත්‍රයක් සහ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මුල්ලෙරියාව ජාතික සෞඛ්‍ය ආයතනයේදී ‘ඔන්ඩස්ට්‍රෝන’ ඖෂධය ලබාදීමෙන් පසු සිදුවූ රෝගී මරණ දෙක සම්බන්ධයෙන් මාස තුනක් ගතවී ඇතත් නිසි වාර්තාවක් ඉදිරිපත් නොකිරීම රජයේ සහ බලධාරීන්ගේ අසමත්කමක් බව ඔවුන් එහිදී පෙන්වා දුන්හ.
ඖෂධ නියාමන අධිකාරියේ පවතින දුර්වල පරිපාලනය හේතුවෙන් රට පුරා ෆාමසිවල අනුමැතිය නොමැති ඖෂධ අලෙවි වන බවත්, ඖෂධ මිල පාලනය බිඳ වැටීම නිසා ඖෂධ කාණ්ඩ 600කට ආසන්න ප්‍රමාණයක් ගෙන්වීමට නොහැකි වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කළේය. එමෙන්ම, මිල පාලන කමිටුවල සිටින ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් ඖෂධ සමාගම් සමඟ සෘජු ගනුදෙනු පවත්වන බවට ද ඔහු මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය. රටේ ආර්ථික අර්බුදයක් නොමැති බව රජය පැවසුවද, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ වැටුප් දීමනා සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම කනගාටුදායක බව පැවසූ ඔහු, ඖෂධ මිල අඩු කරන බවට රජය පවසන ප්‍රකාශ හුදු ප්‍රෝඩාවන් පමණක් බවත් රජයේ ප්‍රසම්පාදන පටිපාටිය යටතේ එවැනි අඩු කළ මිලට ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අසමත් වී ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.













