මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රියේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘C’ කාණ්ඩයේ තීරණාත්මක තරගයකදී එංගලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය පරාජය වී පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස්කළේ එංගලන්ත පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. කොදෙව් ඉනිම ශක්තිමත් කළ ෂර්ෆේන් රදර්ෆර්ඩ් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් පන්දු 42කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේය.
ඔහුට අනගි සහයක් ලබාදුන් ජේසන් හෝල්ඩර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 17කදී ලකුණු 33ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය. සමස්ත කොදෙව් ඉනිම හයේ පහර 13කින් සහ හතරේ පහර 13කින් වර්ණවත් වූ අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ආදිල් රශීඩ් ලකුණු 16කට කඩුලු 2ක් ද, ජේමි ඕවර්ටන් ලකුණු 33කට කඩුලු 2ක් ද බිඳහෙළමින් දක්ෂතා දැක්වූහ. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට පන්දුවාරයකට ලකුණු 9.85ක වේගයක් පවත්වා ගනිමින් ලකුණු 197ක් ලබාගත යුතුව ඇත.














