ඩුබායිහිදී අද (11) පැවැත්වෙන 2026 ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී (World Para Athletics Grand Prix) තරගාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට මලල ක්‍රීඩිකා ජනනි ධනංජනා සමත් වූවාය. ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළේ කාන්තා මීටර් 100 (T46/47) ඉසව්වේ අවසන් තරගයට සහභාගී වෙමිනි. වසරේ පළමු පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලිය ලෙස සැලකෙන මෙම ‘ෆස්සා’ (Fazza) ජාත්‍යන්තර ශූරතාවලිය සඳහා රටවල් 56ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසක් සහභාගී වන අතර, එහිදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ජනනි සමත්ව තිබේ.
මීට පෙර ද ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වා ඇති ජනනි ධනංජනා, 2024 වසරේ පැරිස් පැරාලිම්පික් උළෙල ද නියෝජනය කළ ක්‍රීඩිකාවකි. ඇය 2025 වසරේ පැවැති ඩුබායි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේදී මීටර් 100 සහ 200 ඉසව්වලින් රිදී පදක්කම් ද, දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් ද දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වා තිබුණි. මෙවර ඇය මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු පැරා ක්‍රීඩා උළෙල වැනි ප්‍රධාන තරගාවලි සඳහා ඇය ලබාගත් විශාල උත්තේජනයක් වනු ඇත.














