දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා නිධානයන් මතුකර දෙන බව පවසා රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් වංචා කළ බව කියන කපුවෙකු ඇතුළු හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සූරියවැව, අලිඔළුආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ. සූරියවැව කඳවුරේ නිලධාරීන් විසින් අද (11) අලුයම 3ට පමණ සිදුකළ මෙම වැටලීමේදී නාරංවල, ඇඹිලිපිටිය, සෙවනගල, කලවිටිගම, කළුතර සහ සූරියවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35ත් 51ත් අතර පසුවන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිදන් හෑරීම සඳහා යොදාගත් පූජා භාණ්ඩ සහ ජනතාව මුලාවට පත්කිරීමට භාවිත කළ ව්‍යාජ ‘ගල් පෙට්ටියක්’ ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ජාවාරම ඉතා සූක්ෂම ලෙස සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරුවන් කිසියම් නිවසකට ගොස් එහි නිධානයක් ඇති බව පවසා වලක් හෑරීමට නිවෙස් හිමියා පොළඹවා ගනී. පසුව ‘අඳුනෙන්’ බැලිය යුතු බව පවසා ව්‍යාජ ඇදුරා සහ නිවෙස් හිමියා කාමරයකට ගිය අවස්ථාවේදී, සෙසු ජාවාරම්කරුවන් රහසේ වල තුළට බැස ව්‍යාජ මැණික් ඇතුළත් ගල් පෙට්ටියක් එහි සඟවා ඇත. ඉන් අනතුරුව නිවෙස් හිමියා ලවාම එම පෙට්ටිය ගොඩට ගෙන එහි වටිනා මැණික් ඇති බව පවසා විශ්වාසය තහවුරු කරගන්නා මොවුන්, මැණික්වල වස්දොස් ඇරිය යුතු බව පවසා කිරි කළයක දමා සුදු රෙද්දකින් ඔතා තැබීමට උපදෙස් දී ඇති බව හෙළි විය.
මෙම ව්‍යාජ මැණික් අධික මිලකට විකිණිය හැකි බව පවසා නිවෙස් හිමියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීම මොවුන්ගේ ප්‍රධාන උපක්‍රමය වී ඇත. යම් හෙයකින් මුදල් දීම ප්‍රතික්ෂේප කළහොත් ‘වස්දොස් ඇති වන බවට’ තර්ජනය කර බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමට ද මොවුන් කටයුතු කර තිබේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දීර්ඝ කාලයක සිට දිවයින පුරා මෙවැනි වංචාවන් සිදුකර ඇති බවයි. අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට භාර දී ඇති අතර, ඔවුන් හෙට (12) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.












