රත්ගම කලපුවේ පාරිසරික පද්ධතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් එහි රැඳී තිබූ දිරා නොයන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් විදේශීය සංචාරකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා පවත්වන ලදී. ‘කයක් ඇඩ්වෙන්චර් රත්ගම ලේඩ්’ (Kayak Adventure Rathgama Lake) ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම ශ්‍රමදානය මගින් කලපුව තුළ තිබූ ප්ලාස්ටික්, වීදුරු බෝතල් සහ හිස් බියර් කෑන් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගැනිණි.
රත්ගම කලපුවේ පවතින සුවිශේෂී ජෛව විවිධත්වය සහ කඩොලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම මෙම ස්වේච්ඡා මෙහෙයුමේ මූලික අරමුණ වී තිබේ. පරිසර දූෂණය හේතුවෙන් කලපු පද්ධතියට සිදුවන හානිය අවම කිරීමට මෙවැනි වැඩසටහන් මහත් පිටුවහලක් වන බව සංවිධායකයෝ පෙන්වා දෙති.














