අද (12) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
කාලගුණ වාර්තාවලට අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව උතුරු පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, එහිදී ද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි පතිත විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














