පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 85 දෙනෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් 142 දෙනෙකු, 2024 වර්ෂයේදී වැටුප් ලේඛනවල අත්සන් තැබීමෙන් තොරව වැටුප් ලබාගෙන ඇති බව ජාතික විගණන අංශ මගින් අනාවරණය කරගෙන තිබේ. මුදල් රෙගුලාසි 238(5) ප්‍රකාරව රජයේ වැටුප් ලබන නිලධාරීන් වැටුප් ලේඛනවල අත්සන් තැබීම අනිවාර්ය වුවද, මෙම නිලධාරීන්ගේ වැටුප් සෘජුවම ඔවුන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කර ඇත. මෙහි ඇති වඩාත් බරපතල කරුණ වන්නේ, ඔවුන් පත්වීම් ලැබූ දිනයේ සිට වැඩ භාරගත් දිනය දක්වා කාලය සඳහා ද කිසිදු අත්සනකින් තොරව හිඟ වැටුප් ලබාගෙන තිබීමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,231ක් වෙනුවෙන් 2024 වසරේදී පමණක් රුපියල් කෝටි 50කට අධික මහජන මුදලක් වැය කර තිබේ. එක් මන්ත්‍රීවරයෙකුට උපරිම වශයෙන් පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු (06) පත් කර ගැනීමට අවසර ඇති අතර, මෙම පත්වීම් හා වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය පිළිබඳව විගණන වාර්තාව මගින් දැඩි ප්‍රශ්න මතු කර ඇත. නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදුවන මෙම මූල්‍ය ගනුදෙනු වහාම විධිමත් කරන ලෙස විගණන නිලධාරීන් නිර්දේශ කර තිබේ.














