දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක අන්තර්ගත කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම්කරුවන්ගේ ද එකඟතාවය ඇතිව මෙම නඩු විභාගය අවසන් කෙරිණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනුණි. 2024 වසරේ සිදුකළ මෙම පත්වීම අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර, වත්මන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමත් සමඟ මෙම නීතිමය ක්‍රියාවලිය අදින් නිමාවට පත් විය.














