2024 වසරේ ඇති වූ දැවැන්ත ශිෂ්‍ය අරගලයෙන් පසු හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලනය බිඳ වැටීමෙන් අනතුරුව, බංගලාදේශයේ නව රජයක් තෝරාගැනීම සඳහා වන තීරණාත්මක මහ මැතිවරණය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන ජනමත විචාරණය අද (පෙබරවාරි 12) පැවැත්වේ. නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජය යටතේ පැවැත්වෙන මෙම මැතිවරණය, එරට ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය තීරණය කරන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
අද පැවැත්වෙන මෙම මැතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකයින් මිලියන 127 කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර, පාර්ලිමේන්තු ආසන 300ක් සඳහා අපේක්ෂකයින් 2,000කට ආසන්න පිරිසක් තරඟ වදී. මැතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංගලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ද සහාය ලබන ජමාත් ඊ ඉස්ලාමි ප්‍රමුඛ 11 පක්ෂ සන්ධානය අතරය. හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීගයට මැතිවරණයට තරඟ කිරීම තහනම් කර ඇති අතර, ඩකා අගනුවර ඇතුළු රට පුරා ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් ලක්ෂයකට අධික පිරිසක් යොදවා තිබේ.
මැතිවරණයට සමගාමීව පැවැත්වෙන ජනමත විචාරණය මගින් “ජූලි ප්‍රඥප්තිය” (July Charter) ලෙස හැඳින්වෙන ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා ජනතා කැමැත්ත විමසනු ලබයි. මෙහිදී අගමැති ධුරය සඳහා වසර 10ක (වාර දෙකක) උපරිම කාල සීමාවක් පැනවීම, ද්වි-මණ්ඩල පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වා දීම සහ මැතිවරණ මෙහෙයවීම සඳහා ස්වාධීන අන්තර්වාර රජයක ක්‍රමවේදය ව්‍යවස්ථාගත කිරීම වැනි ප්‍රධාන ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇත. මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ පැෆ්රල් (PAFFREL) ආයතනයේ නියෝජිතයින් ද මේ වන විට බංගලාදේශය වෙත ගොස් සිටියි.














