කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් (SLMC) මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි (Zohara Buhari) මහත්මියගේ මන්ත්‍රී පදවිය අහිමි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ පදවිය අහිමි වෙයි
පසුගිය 2025 දෙසැම්බර් 31 වන දින පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී, පක්ෂ නායක රාවුෆ් හකීම් මහතාගේ උපදෙස් නොතකා ජාතික ජන බලවේගයේ (NPP) අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම මෙම විනය ක්‍රියාමාර්ගයට හේතුවී ඇත. පක්ෂ ලේකම් නිසාම් කාරියප්පර් මහතා විසින් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් අතර, ඒ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමෙන් පසු මේ වන විට රජයේ ගැසට් පත්‍රය මගින්ද ඇයගේ පදවිය අහිමි වී ඇති බව තහවුරු කර තිබේ.
සොහාරා බුහාරි මහත්මිය මෙම තීරණයට එරෙහිව අධිකරණය හමුවට ගොස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට මීට පෙර උත්සාහ කළද, පක්ෂයේ විනය පටිපාටීන් අනුගමනය කිරීමෙන් පසු අවසානයේ ඇයට සිය ආසනය අහිමි වී ඇත. මේ අනුව කොළඹ මහ නගර සභාවේ ඇය නියෝජනය කළ අසුන සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නව මන්ත්‍රීවරයෙකු නම් කිරීමට නියමිතය.














