බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත නිකුත් කර ඇති ආරක්ෂිත උපදෙස් පහත පරිදි වේ:
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිට, ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය. කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ. එසේම, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකී සිටිය යුතුය.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු අතර, හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහාය පතන ලෙස ද දන්වා ඇත.














