ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවූ ජිප් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අනීතික ලෙස ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරිය වන විශාඛා විජේරත්න ඇලපාත මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය. සැකකාරිය අද දින අල්ලස් කොමිසන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී ඇයට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
අදාළ වාහනය නීත්‍යනුකූල නොවන අයුරින් පැවරීමට අනුමැතිය ලබාදීම, අනීතික ලෙස මුල් පැවරීම සිදු කිරීම සහ ඒ සඳහා නිර්දේශ ලබා දීම යන ප්‍රධාන චෝදනා ඇයට එල්ල වී ඇති අතර, සැකකාරිය විසින් අනීතික ලෙස දත්ත ඇතුළත් කර රජයට ලැබිය යුතු බදු මුදල් මඟහැරවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම එක් වාහනයකින් පමණක් රජයට රුපියල් කෝටි පහයි ලක්ෂ විසිතුනකට (රු. 52,300,000) ආසන්න පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී ඇත. මෙම වාහනය 2003 වසරේ ලියාපදිංචි වූවක් ලෙස පෙන්වා දී තිබුණද, ඊට අදාළ බදු ලේඛන නොමැති බවත්, වලංගු බලපත්‍ර ලබාගෙන ඇත්තේ 2017 වසරේදී බවත් හෙළි වී තිබේ. අදාළ සමාගම අංක තහඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදී සැකකාරිය සිය නිල බලය භාවිතා කර 2017 වසරේදී අංක තහඩු නිකුත් කරගෙන ඇති අතර, මෙලෙස මුල් ලියාපදිංචිය නොමැතිව අනීතික ලෙස දත්ත පද්ධතියට ඇතුළත් කළ වාහන 32ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේය.














