විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අතරතුර වෙනත් අයකුගේ හැඳුනුම්පතක් භාවිතා කරමින් ක්‍රීඩාංගණයට ඇතුළු වූ 19 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩාංගණයේ ටෙන්ට් ඇදීම සඳහා තාවකාලික පදනම මත බඳවාගෙන සිටි සේවකයෙකු ලෙස පෙනී සිටිමින් මොහු ක්‍රීඩාංගණය තුළ සේවය කරමින් සිටියදී අද පස්වරු 1.00 ට පමණ ක්‍රීඩාංගණ බලධාරීන් විසින් ඔහුව හඳුනාගෙන පොලිසියට භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දිගන රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු භාවිතා කර ඇත්තේ මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැබෑ සේවකයාගේ හැඳුනුම්පත බව පොලිසිය අනාවරණය කර ගත්තේය. අදාළ සැබෑ සේවකයා අද දින සේවයට වාර්තා කර නොමැති අතර ඔහුගේ අනන්‍යතාවය අවභාවිත කරමින් ක්‍රීඩාංගණයට ඇතුළු වීම හේතුවෙන් සැකකරුට අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු මේ වන විට පල්ලේකැලේ පොලිස් ස්ථානයට භාර දී ඇත.














