එක්සත් රාජධානිය විසින් හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ යෝජනා ක්‍රමයේ (DCTS) නීති රීති 2026 ජනවාරි 1 වනදා සිට තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන අංශයට, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට සුවිශේෂී තරඟකාරී වාසියක් හිමිව තිබේ. ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වන එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරන මෙම නව සහනදායී රාමුව යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලින් 92%කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව එරට වෙළඳපොළට ඇතුළු වීමේ අවස්ථාව හිමි වේ.
මෙම නව සංශෝධන යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට ලොව ඕනෑම රටකින් සීමාවකින් තොරව අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවසර ලැබෙන අතර, එසේ නිපදවන ඇඟලුම් කිසිදු තීරුබද්දකින් තොරව එක්සත් රාජධානියට අපනයනය කිරීමට හැකි වීම විශේෂත්වයකි. මීට පෙර පැවති සංකීර්ණ කොන්දේසි ඉවත් කර නිෂ්පාදන සැකසුම් අවශ්‍යතා සරල කිරීම හරහා සැපයුම් දාම නම්‍යශීලීභාවය සහ පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. එක්සත් රාජධානියට සිදු කරන මුළු අපනයනවලින් 73%ක්ම ඇඟලුම් නිෂ්පාදන වන අතර, 2024 වසරේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 660ක් සහ 2025 වසරේදී ඩොලර් මිලියන 610ක් ලෙස වාර්තා විය.
ඇඟලුම් අංශයට අමතරව අනෙකුත් නිෂ්පාදන සඳහා ද ආසියා කලාපීය රටවල් 18කින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම මෙමගින් සැලසෙන අතර එමගින් ශ්‍රී ලංකාවේ අපනයන විවිධාංගීකරණයට සහ තිරසාර ආර්ථික වර්ධනයට මග පෑදෙනු ඇත. මෙම නව වෙළඳ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර පසුගියදා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. එහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026″ ප්‍රදර්ශනය සහ වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහන් හරහා ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශවයේම අවධානය යොමු වී ඇත.














