විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස්කළ වයස්ගතම පිතිකරුවා ලෙස වසර 17ක් පුරා සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව අලුත් කිරීමට ඕමාන ක්‍රීඩක මොහොමඩ් නදීම් අද (12) සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති මෙම තරගයේදී නදීම් මෙම සුවිශේෂී දක්ෂතාව දැක්වූයේ සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පිටියේ රැඳී සිටින මොහොතක වීම විශේෂත්වයකි.
වයස අවුරුදු 43යි දින 161ක් වන මොහොමඩ් නදීම්, ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 56කදී නොදැවී ලකුණු 53ක් රැස් කළේය. ඒ අනුව ඔහු බිඳදමනු ලැබුවේ 2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සනත් ජයසූරිය (වයස අවුරුදු 39යි දින 345දී) පිහිටුවා තිබූ වාර්තාවයි. කෙසේ වෙතත්, මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105ක දැවැන්ත ජයක් වාර්තා කළ අතර, නදීම්ගේ මෙම ඉනිම T20 ලෝක කුසලාන ඉතිහාසයේ සම මන්දගාමී අර්ධ ශතකය ලෙසද වාර්තා පොත් අතරට එක් විය.













