කොළඹ කොටස් වෙළෙඳපොළ අද (12) දිනයේ සුළු පසුබෑමක් පෙන්නුම් කළ අතර, ප්‍රධාන දර්ශකයන් පටු පරාසයක උච්චාවචනය වෙමින් ගනුදෙනු අවසන් විය. දවසේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 3.17කින් පහළ ගොස් ඒකක 23,652.51ක් ලෙස සටහන් වූ අතර, ප්‍රමුඛ සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ඒකක 12.00කින් පහළ වැටී ඒකක 6,599.52ක් ලෙස වාර්තා විය.
අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.84ක් ලෙස වාර්තා වූ අතර, එය මෑත දිනවලට සාපේක්ෂව වර්ධනයකි. බැංකු අංශය වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයට වැඩිම දායකත්වයක් ලබා දුන් අතර, රුපියල් බිලියන 1.43ක පිරිවැටුමක් එම අංශයෙන් පමණක් වාර්තා විය. විශේෂයෙන්ම කොමර්ෂල් බැංකුව (CBNK.N) රුපියල් මිලියන 850ක පිරිවැටුමක් වාර්තා කරමින් වෙළෙඳපොළට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේය.
වෙළෙඳපොළ තත්ත්වය විශ්ලේෂණය කිරීමේදී, සමාගම් 106ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 125ක මිල ගණන් පහළ ගියේය. ලංකා මිල්ක් ෆුඩ්ස් (LMF.N) සමාගම 9.01%ක මිල වර්ධනයක් සමඟ කැපී පෙනෙන දක්ෂතාවක් පෙන්වූ අතර, රිචඩ් පීරිස් (RICH.N) සහ ජෝන් කීල්ස් (JKH.N) වැනි ප්‍රමුඛ සමාගම්වල මිල පහළ යාම දර්ශකවල පසුබෑමට හේතු විය.














