රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවත්, ඒ සඳහා විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම රජයේ මූලික ප්‍රමුඛතාව බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (12) ප්‍රකාශ කළාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල වෙත ගිය අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත් නිරීක්ෂණය කළ අතර ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට ‘අධ්‍යාපන කවුන්සිලයක්’ (Education Council) පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව අනාවරණය කළාය. පසුව වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලය සහ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ඇය, උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමේදී සහ සිසුන් රඳවා ගැනීමේදී පවතින අභියෝග පිළිබඳව ද සොයා බැලුවාය.
හම්බන්තොට ලුනම දුටුගැමුණු මහා විද්‍යාලයේ ද නිරීක්ෂණයක යෙදුණු අග්‍රාමාත්‍යවරිය, එහි පවතින යටිතල පහසුකම්වලට සාපේක්ෂව සිසුන් සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව පෙන්වා දෙමින්, නිසි සැලසුම් හරහා සිසුන් ඇතුළත් කරගැනීම ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නාය. පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතාවන් ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය බව ඇය මෙහිදී යළිත් අවධාරණය කළාය.














