දශක කිහිපයක සිට ඉන්දුනීසියාවේ, විශේෂයෙන්ම බාලි දූපත්හි ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණයක්ව පැවති “අලි පිට යාම” (Elephant Rides) රට පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ඉන්දුනීසියානු රජය පියවර ගෙන තිබේ. සතුන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් “PETA Asia” සංවිධානය විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක අනාවරණයකින් මාස තුනකට පසුව එරට වන විද්‍යා අමාත්‍යාංශය විසින් මෙම ඓතිහාසික තීරණය ගෙන ඇත.
අදාළ පරීක්ෂණ වාර්තාව මඟින් පෙන්වා දී තිබුණේ බාලි හි ප්‍රසිද්ධ අලි උද්‍යානවල සිටින සතුන් දැඩි මානසික ආතතියට ලක්ව ඇති බවත්, ඔවුන් මෙල්ල කිරීම සඳහා තියුණු ආයුධ (Bullhooks) භාවිත කරන බවත්ය. ඇතැම් උද්‍යාන හිමිකරුවන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, අලි පිට යාම සතුන්ට ව්‍යායාමයක් බව පැවසුවද, සත්ව සුබසාධන විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය සතුන්ගේ ශරීරයට මෙන්ම මනසට ද දැඩි හානි පමුණුවන ක්‍රියාවක් බවයි.
මෙම තහනමත් සමඟ බාලි හි ප්‍රමුඛ පෙළේ උද්‍යාන රැසක් සිය ව්‍යාපාරික ආකෘතිය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව “Mason Elephant Park” වැනි ආයතන අලි පිට යාම වෙනුවට සතුන්ගේ ස්වාභාවික හැසිරීම් නැරඹිය හැකි වඩාත් මානුෂීය අත්දැකීමක් සංචාරකයින්ට ලබා දීමට කටයුතු කරමින් සිටී. මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස් පවසන්නේ මෙය බොහෝ කාලයකට පෙර සිදුවිය යුතුව තිබූ යහපත් පියවරක් බවයි. ආසියාවේ මෙවැනි තහනමක් රට පුරා ක්‍රියාත්මක කළ පළමු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇති අතර, තායිලන්තය, ඉන්දියාව සහ නේපාලය වැනි සෙසු රටවල් ද මෙම ආදර්ශය අනුගමනය කරනු ඇතැයි සත්ව සුබසාධන සංවිධාන බලාපොරොත්තු වේ.














