ඇමරිකානු ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සමඟ පැවැත්වූ සමීප සබඳතා හේතුවෙන් නෝර්වේ රාජ්‍යයේ හිටපු අගමැති තෝර්බ්ජෝන් ජැග්ලන්ඩ්ට (Thorbjørn Jagland) එරෙහිව “බරපතල දූෂණ” චෝදනා එල්ල කරමින් එරට පොලිසිය නිල වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. යුරෝපා කවුන්සිලයේ හිටපු මහලේකම්වරයා ලෙස ඔහුට හිමිව තිබූ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය (Immunity) එම කවුන්සිලය විසින් ඉවත් කිරීමත් සමඟ මෙම නීතිමය පියවර ගැනීමට මඟ පෑදී ඇත.
පසුගියදා අමෙරිකානු බලධාරීන් විසින් ප්‍රසිද්ධ කරන ලද “එප්ස්ටයින් ලිපිගොනු” (Epstein files) මඟින් හෙළි වී ඇත්තේ, ජැග්ලන්ඩ් සිය පවුලේ සාමාජිකයන් සමඟ එප්ස්ටයින්ට අයත් නිව්යෝර්ක්, පැරිස් සහ පාම් බීච් හි පිහිටි නිවෙස්වල නවාතැන් ගෙන ඇති බවයි. එසේම, ජැග්ලන්ඩ් නොබෙල් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ එප්ස්ටයින්ගෙන් තෑගි, සංචාරක පහසුකම් සහ පෞද්ගලික ණය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවට ද සැක කෙරේ. නෝර්වේ ආර්ථික අපරාධ විමර්ශන ඒකකය (Økokrim) විසින් ජැග්ලන්ඩ්ට අයත් දේපළ කිහිපයක්ම සෝදිසියට ලක් කර ඇති අතර ඔහු දැනට “සැකකරුවෙකු” ලෙස නම් කර ඇත.
75 හැවිරිදි වියේ පසුවන ජැග්ලන්ඩ් තමන් කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත්, එප්ස්ටයින් වැනි අයෙකු සමඟ සබඳතා පැවැත්වීම සිය “අයහපත් තීරණයක්” බව පිළිගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ නෝර්වේහි රාජකීය පවුලේ සාමාජිකයන් සහ තවත් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ නම් ද එප්ස්ටයින් ලිපිගොනු සමඟ සම්බන්ධ වීම නිසා නෝර්වේ දේශපාලන ක්ෂේත්‍රය දැඩි කැළඹීමකට ලක්ව ඇත.














