විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු අංජු’ හෙවත් සිංහාරගේ අමල් ශාමින්ද සිල්වාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන ප්‍රධාන නියෝජිතවරියක පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 10 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් මෙම කාන්තාවගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත, ගල්කිස්ස ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදු කිරීමට පොලිසිය සමත්ව ඇත. මොරටුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙම මෙහෙයුමේදී ජාවාරමට සම්බන්ධ භාණ්ඩ රැසක් සොයාගෙන තිබේ.
මෙම වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩයක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් අට ලක්‍ෂ පන්දහසක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මත්ද්‍රව්‍ය කිරිම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදි දෙකක්, නීතිවිරෝධී ලෙස සකස් කරන ලද ව්‍යාජ වාහන අංක තහඩු 30ක් සහ රහසිගත නිවසක යතුරු ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබීම විශේෂත්වයකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ශ්‍රී ලාංකික නියෝජිතවරියක ලෙස කටයුතු කරමින්, කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සම්බන්ධීකරණය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙම ව්‍යාජ අංක තහඩු තොගය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කරන වාහනවල අනන්‍යතාව සැඟවීමට යොදාගෙන ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, මෙම ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.














