හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රචනා කළ “The Sri Lanka Peace Process: An Inside View” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී අදහස් දක්වමින් දයාන් ජයතිලක මහතා ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඊයේ (12) කොළඹදී පැවැති මෙම උත්සවය සංවිධානය කර තිබුණේ One Text ආයතනය විසිනි.
ඔහු මතු කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
හමුදා සීමා කිරීමේ අවදානම: උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාපිත හමුදා සංඛ්‍යාව අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය වහාම අත්හිටුවිය යුතු බවත්, පළාත් සභා මැතිවරණය පවත්වා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට පෙර මෙවැනි පියවර ගැනීම බරපතල තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. යළි හිස ඔසවන බෙදුම්වාදය: කඩිනමින් මැතිවරණය නොපැවැත්වුවහොත් රට 1984 වසරට පෙර පැවැති අතිශය අර්බුදකාරී තත්ත්වයට ඇද වැටිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. මෑතකදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල තරුණයන් යළිත් කළු කොඩි ඔසවමින් බෙදුම්වාදී මතවාද ප්‍රදර්ශනය කිරීම යහපත් ලක්ෂණයක් නොවන බව ද ඔහු සඳහන් කළේය. මධ්‍යස්ථ බලවේග ආරක්ෂා කිරීම: පළාත් සභා මැතිවරණය හරහා මධ්‍යස්ථ දෙමළ දේශපාලන බලවේගවලට අවස්ථාව ලබා නොදුනහොත්, එම අවකාශය අන්තවාදී සහ බෙදුම්වාදී බලවේග විසින් අත්පත් කර ගනු ඇති බව දයාන් ජයතිලක මහතා අවධාරණය කළේය. සාම ක්‍රියාවලියේ අත්දැකීම්: සාම සාකච්ඡාවලදී අතීතයේ සිදු වූ වැරදි සහ අසාර්ථක වූ ලිබරල්වාදී මෙන්ම අන්තවාදී පදනම්වලින් බැහැරව, යථාර්ථවාදී ප්‍රවේශයකින් යුතුව දේශපාලන විසඳුම් කරා යා යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.














