වැඩ තහනමකට ලක්ව සිටි සේවකයෙකුගේ පත්වීමක් නැවත සකස් කර දීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ලබාගත් බව කියන කොළඹ ජාතික රෝහලේ නිලධාරීන් දෙදෙනෙකු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද (13) නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන නිලධාරියා සහ එම අංශයේම සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටි පුද්ගලයෙකු සිය රැකියාව නැවත ලබාගැනීමට කළ පැමිණිල්ලකට අනුවය.
අදාළ කටයුත්ත සඳහා සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති අතර, ඉන් පළමු රුපියල් 50,000ක මුදල චෙක්පතක් මඟින් ලබාගෙන තිබේ. ඉතිරි රුපියල් 50,000ක මුදල ලබාගන්නා අවස්ථාවේදී උපාය දූතයෙකු යොදවා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් අල්ලාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ලවා පත්වීම් ලිපිය සකස් කර දෙන බව පවසමින් මොවුන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.














