බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට (පෙබරවාරි 15) පස්වරු 3:00 ට කැඳවා තිබේ. නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, 2012 වසරෙන් පසුව සමස්ත සාමාජිකත්වයම සහභාගී වන මෙවැනි රැස්වීමක් කැඳවනු ලබන පළමු අවස්ථාව මෙය බවයි.
අද (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා, අධි ආරක්ෂිත කලාපයක පිහිටි සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ සිදුවූ මෙම අමානුෂික ඝාතනය සමස්ත නීතිඥ ප්‍රජාවටම එල්ල වූ තර්ජනයක් ලෙස හඳුන්වා දුන්නේය. රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය දැඩි ලෙස විවේචනය කළ ඔහු, අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටියේය. මහජනතාව රජයකින් ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව වුවද, වර්තමානයේ පාරේ බැස යාමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.
ඝාතනයට ලක්වූ නීතිඥවරයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නීතිඥ සංගමය ව්‍යවස්ථානුකූලව පෙනී සිටින බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














