ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව අලුතින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා අනාවරණය කරයි. පෙබරවාරි 15 වනදාට යෙදෙන ජාත්‍යන්තර ළමා පිළිකා දිනය නිමිත්තෙන් පැවැති විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, පසුගිය 2025 වසරේදී පමණක් මෙරටින් ළමා පිළිකා රෝගීන් 940 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. මෙලෙස රෝගයට ගොදුරු වූ පිරිස අතර ගැහැණු සහ පිරිමි දරුවන් සමාන ප්‍රමාණයක් සිටීම විශේෂත්වයකි.
දරුවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ග ලෙස ලියුකේමියා (ලේ පිළිකා), ලිම්ෆොමා (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා හඳුනාගෙන තිබේ. මෙයින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ලියුකේමියාව සහ මොළයේ පිළිකා හේතුවෙනි. උපතේ සිට වයස අවුරුදු 19 දක්වා දරුවන්ට වැලඳෙන පිළිකා ළමා පිළිකා කාණ්ඩයට අයත් වන අතර, ලොව පුරා වාර්ෂිකව දරුවන් හාර ලක්ෂයක් පමණ මෙම රෝගයට ගොදුරු වේ. රෝගය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සහ පීඩාවට පත් දරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබාදීම මෙම දිනය සැමරීමේ මූලික පරමාර්ථය බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














