රජය විසින් ක්‍රියාවට නංවා ඇති ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ යටතේ 2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් (High-speed Broadband) අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කර තිබේ. විද්‍යා, තාක්ෂණ සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙහිදී සඳහන් කළේ පවතින යටිතල පහසුකම් පරතරය පියවීම සඳහා ඉදිරි වසර හතර තුළදී නව සන්නිවේදන කුලුනු 600ත් 1,000ත් අතර සංඛ්‍යාවක් රට පුරා ස්ථාපිත කළ යුතු බවයි. ඉන් කුලුනු 100ක් මෙම වසර තුළදීම ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, පාසල් දරුවන් ඇතුළු සියලු දෙනාට අධිවේගී අන්තර්ජාලය ලබාදීම සඳහා දැනට පවතින ධාරිතාව 25%කින් පමණ ඉහළ නැංවිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට මෙරට අන්තර්ජාල ආවරණය 98%ක් පමණ වුවද, එය අධිවේගී සේවාවක් නොවන බැවින් පෞද්ගලික අංශයේ දායකත්වය සහිත වාණිජ ආකෘතියක් යටතේ නව කුලුනු ඉදිකිරීම් සිදු කිරීමට නියමිතය. කොළඹින් බැහැර ප්‍රදේශවල ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඒ සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා විය.














